කාන්තාවක් වීම ලොව ජය ගැනීමට ,තමාගේ අරමුණු ආශාවන් හබා යාමට බදාවක්ද?නැත මෙසේ බදාවන්ට මුහුණදෙමින් ලොව ජයගත් බොහෝ කාන්තා චරිත අපට දැකගත හැකිය,ඔවුන් ගැන සොයා යාමේදී ශ්‍රී ලාංකික අපේ එවන් චරිතයක් ගැන වෙලුනු ලිපි පෙලකින් අමුණා ගත් සටහනක් ඔබ හමුවේ මෙසේ තබමි!කාන්තාවන් ලෙස නැගී සිටින්න සිතන සැමට මෙය පිටුවහලක් වේවා,ඒ වගේම ව්‍යාපාර කරන ,කිරීමට බලාපොරොත්තු වන සැමට ඇයගෙන් ඉගෙනගත හැකිදේ බොහොමයි.
ඇය ව්‍යාපාරික ලෝකය වෙත ප්‍රවේශ වන්නේ කුඩා කාරයක රෙදිපිළි වෙළඳාමේ නිරතවීමෙනි. කුඩා කාරයකින් ව්‍යාපාරික ගමන අරඹන ඇය එය අතිදැවැන්ත ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරගනිමින් එහි නිර්මාතෘවරිය බවට පත්වන්නීය. ඔඩෙල් යනු ඇගේ එම නිර්මාණයයි.
“කුඩා කාලයේ ඉඳන් මට අවශ්‍ය වුණේ මගේ රටට ගහකොළට සතා සිවුපාවුන්ට සේවයක් කරන්නයි. මම ව්‍යාපාර ක්ෂේත්රයට ආවේ ඒ සඳහා අවශ්‍ය සම්පත් සොයාගන්නයි. දැන් මම මගේ සහෝදර ජනතාවට යහපත් හෙටක් හදන අභියෝගය භාරගන්න සූදානම් වෙනවා. ඒ වගේම කතා කරන්න බැරි ගහකොළ සතා සිවුපාවුන්ගේ හඬ බවට පත්වෙන්නත් මගේ ආදරණීය මාතෘ භූමියට රන් හිරුරැස් වැටෙන ධරණීය හෙටක් තනන්නත් අලුත් පාරකට ගමන් කරමින් තියෙනවා. තනි කාන්තාවක් හැටියට ඉතා සුළුවෙන් පටන් ගත්ත ඔඩෙල් එක දියුණු කරපු මට ඒ ශක්තිය ධෛර්යය හා කවදාවත් නොපරදින අධිෂ්ඨානය උදව් කරයි.” ඔටාරා පවසන්නීය.
මේ දිගහැරෙන්නේ ඇයගේ ජීවන ගමන් මග පිළිබඳව බොහෝ දෙනා නොදන්නා කතාවේ සංක්ෂිප්තයකි.
ප්‍ර: ඔබට ඔබේ කුඩා කාලය පිළිබද තියෙන්නේ මොන වගේ මතකයක්ද?
පි: මම ඉපදුණේ කොළඹ. පාසල් ගියේ කොළඹ කාන්තා විද්‍යාලයට.
මම කුඩාම කාලයේ ඉඳන් ගහකොළට සතා සිවුපාවුන්ට පුදුම ආදරයක් දැක්වුව කෙනෙක්. මට හොඳට මතකයි අවුරුදු හතර පහ කාලේ ඉඳන්ම මම සත්තුන්ට වගේම පරිසරයට හුඟක් කැමැත්තෙන් හිටියා. ඒක තමයි මගේ ලොකුම කැමැත්ත වුණේ. අදටත් ඒක එහෙමමයි. ඒ දවස්වල අපේ ගෙදර පුංචි සත්තු වත්තක් වගේ. කුරුල්ලෝ, හාවෝ වගේ සත්තු ගෙදර හිටියා. ඒගොල්ලෝ තමයි මගේ යාළුවෝ වුණේ.
ප්‍ර: ඔබේ දෙමව්පියන්ගේ මේ ගැන උනන්දුවක් තිබුණාද?
පි: නෑ. ඒ අයගේ මං තරම් පරිසරයට සත්තුන්ට උනන්දුවක් තිබුණේ නෑ. නමුත් මම හාවෝ, තාරාවෝ ඕනි කිව්වොත් ඒගොල්ලො මට ඒ අයව ගෙනත් දුන්නා.
ප්‍ර: ඔබේ තාත්තා කවුද?
පි: මගේ තාත්තා නමින් නෝමන් ගුණවර්ධන. ඔහු මුලින්ම එයිට්කස් ස්්පෙන්ස් ආයතනයේ විධායකයකු ලෙස තමයි රාජකාරි ආරම්භ කළේ. ඔහු විශ්‍රාම යන විට එම ආයතනය සභාපතිවරයා වශයෙන් කටයුතු කළා. මගේ මව ප්‍රථමයෙන්ම ගෘහනියක්. නමුත් මට අවුරුදු දෙක තුනක් යන විට ඇය පාසලක් ආරම්භ කළා විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් සඳහා. ඇය මුලින්ම එය පටන් ගන්න විට සිටියේ ළමයින් දෙන්නයි. දැන් එය එම ක්ෂේත්රයේ තිබෙන විශාල ඒ වගේම ක්‍රමවත් පාසලක්. ළමයි දෙතුන් සීයක් ඉන්නවා. ඒවගේම වාර්ෂිකව හැම පළාතකම දරුවන් 1000ක් පමණ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනවා. එවැනි දරුවන්ව කොහොමද තේරුම් ගන්න ඕනෙ කොකොමද ඔවුන් එක්ක කටයුතු කරන්න ඕනෙ වගේ කාරණා පිළිබඳව එවැනි දරුවන් සිටින දෙමාපියන් හා ගුරුවරුන් දැනුවත් කිරීම එම පාසල හරහා සිදුවෙනවා. ඒවගේම මට අයියලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නම අජිත් ගුණවර්ධන. අනෙක් කෙනා රුචි ගුණවර්ධන. ඒගොල්ලන් මට වඩා අවුරුදු හතක් අටක් වැඩිමල් අය. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නම් පරිසරයට තරමක් ආශා කළා.
ප්‍ර: ඔබ පාසල් යන කාලේ ක්‍රීඩාවලට දක්ෂ බව අපි අසා තිබෙනවා.
පි: ඔව්. මම ඉගෙනගැනීමට වඩා දක්ෂ වුණේ ක්‍රීඩාවට හා අනෙක් බාහිර ක්‍රියාකාරකම්වලටයි. අධ්‍යාපන පැත්තෙන් බැලුවොත් පන්තියේ හිටපු දුර්වලම ළමයි අතර හිටපු කෙනෙක් තමයි මම.
ප්‍ර: ඇයි එහෙම වුණේ?
පි: නෑ. ඒක වුණේ මෙහෙමයි. මට ආශාවක් තිබුණේ ක්‍රීඩාවට, පරිසරයට. ඒවගේම මම පාසලෙන් පිටත නර්තනයත් කළා. ඒවට තමයි මගේ මූලික ආශාව හා අවධානය යොමුවෙලා තිබුණේ. අධ්‍යාපන ධාරාවට මගේ එච්චර කැමැත්තක් තිබුණේ නෑ. ඒවගේම මම කරපු ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තිබුණ ඇල්ම නිසාම ඒවායින් ජයග්‍රහණය ලබා ගන්න මම හුඟක් මහන්සි වුණා. පොඩි කාලේ ඉඳලම මම කරනවා නම් ඒක හරියට කරන ගතියක් මගේ තිබුණා. ඒවගේම ඒකේ පළවෙනියා වෙන්න ඒ තුළින් ජයග්‍රහණය ලබන්න මං මහන්සි ගත්තා. බොහෝ විට ඒ උත්සාහයන් සාර්ථක වුණා. ඒත් පන්තියේ ඉගෙන ගන්න දේවල්වලට ඒවගේ උනන්දුවක් ආශාවක් තිබුණේ නෑ. ඒ නිසාම ඒකේ පළවෙනියා වෙන්න ඕනි කියන එක මට වැදගත් වුණේ නෑ. අපොස සා.පෙළ වගේ වෙනකොට විද්‍යාවට සම්බන්ධ විෂයන් ගැන උනන්දුවක් ඇතිවෙලා තිබුණා. අපොස උසස් පෙළින් පස්සේ මම ඇමෙරිකාවට ගියා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එහිදී මම විද්‍යාවේදී උපාධිය සමත් වුණා. උසස් පෙළ පන්තියේ දී මම අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් දැක්වුවා. ඒ වනකොට මම තේරුම් අරගෙන තිබුණා අධ්‍යාපනය ඉහළට කළ යුතුයි කියලා.
ප්‍ර: නමුත් හැමෝම ඔබව දන්නේ ඔබ විලාසිතා පැත්තට සම්බන්ධ අධ්‍යාපනයක් ලද කෙනෙක් කියලා. නමුත් ඔබ උපාධියට කළේ විද්‍යා විෂයන්.
පි: ඔව්. ගොඩක් දෙනා දන්නේ ඒ විදියට. නමුත් මගේ කැමැත්ත තිබුණේ කැලෑවක ඉඳලා පර්යේෂණ කටයුතු කරන්න. ඒ හරහා සංරක්ෂණ ක්ෂේත්රයේ අලුත් මානයක් සකස් කරන්න. ඒ මෙරට වන ප්‍රජාවට සේවාවක් කරන්න. ඒ හින්දා තමයි මම විද්‍යාවේදී උපාධිය ලබාගත්තේ. නමුත් උපාධිය ගත්තත් ඉතිරි සැලසුම ක්‍රියාත්මක වුණේ නෑ.
ප්‍ර: ඇයි ඒ?
පි: මම ඇමෙරිකාවල ඉන්නකොට හැම අවුරුද්දෙම ලංකාවට ආවා. එහෙම ආපු එක අවස්ථාවක විලාසිතා නිර්මාණ ශිල්පියකු වශයෙන් කටයුතු කරපු මගේ ළඟම මිත්‍රයෙක් මට විලාසිතා දැක්මකට ආරාධනා කළා.
ප්‍ර: ඔබ ඒකට කැමති වුණාද?
පි: නෑ. මම ඒකට මුලදී කැමති වුණේ නෑ. නමුත් පස්සේ එයාගේ පෙරැත්තය හින්දම මම ඒකට කැමති වුණා. විලාසිතාවලට මම යොමු වුණේ ඒ අනුවයි.
ප්‍ර: පාසල් යන කාලේ ඔබට විලාසිතා ගැන උනන්දුවක් තිබුණද?
පි: නෑ. ඒ කාලේ මට ඒ දේවල් ගැන කිසිම උනන්දුවක් තිබුණේ නෑ. පාසල් කාලේ මම බොහෝවිට හිටියේ ගස් උඩ. ඉතාම විනෝදයෙන්. පරිසරය රස විඳිමින්. ඒ හින්දා ඒ වගේ දේවල්වලට උනන්දුවක් තිබුණෙම නැ.
ප්‍ර: අපි ආයෙත් ඔබේ විලාසිතා පැත්තට හැරුණොත්?
පි: උපාධිය කරලා ආවට පස්සේ ඒ පැත්තට ටිකක් වැඩියෙන් යොමුවුණා. මම ලංකාවට එනකොට තාත්තා ඔඩෙල් කියන නම වෙළෙඳ සමාගමක් විදියට ලියාපදිංචි කරලා තිබුණා. මගේ නමේ ඔටාරා කියන එකේ ‘ඕ’ යන්නත් ඩෙල් කියන නමත් එකතු කරලා තමයි තාත්තා ඒ නම හදලා තිබුණේ.
ප්‍ර: ඔබ ව්‍යාපාරික ලෝකය වෙත අවතීර්ණවීමට පෙළඹෙන්නේ ඇයි?
පි: ඒක හරියටම කිව්වොත් අහම්බයෙන් සිදුවූවක්. මම අධ්‍යාපනය ලැබූ විෂය ක්ෂේත්රය හා මා පි‍්‍රය කළ විනෝදාංශයන් එක්ක සංසන්දනය කරලා බැලුවම ව්‍යාපාරික ක්ෂේත්රය කියන්නේ මට අලුත් වගේම වෙනස්ම දෙයක්. කුඩා කාලයේ සිටම මම බෙහෙවින්ම උනන්දු වූයේ පරිසරය හා සතුන් සමග ජීවත් වෙන්න. පරිසරයට හා සතුන්ට ආදරය දක්වන්න. ඒ විතරක් නෙවෙයි මම මගේ ඉගෙනුම් විෂය ධාරාව ලෙස තෝරාගනු ලැබුවේ ජීව විද්‍යාව. ඊට අමතරව මම නිරූපණ ශිල්පය රැකියාවක් ලෙස සිදුකළා. ඉතිං මේ සියලු දේ සිදුකරමින්ම මම ව්‍යාපාරික ක්ෂේත්රය වෙත පැමිණෙනවා. එහෙත් ව්‍යාපාරික ක්ෂේත්රය වෙත අවතීර්ණ වන මට හැකියාව ලැබෙනවා මම ප්‍රිය කළ සියලු දේ ප්‍රවර්ධනය කරගැනීමට. මම හිතන්නේ මට ව්‍යාපාරික ලෝකය වෙත අවතීර්ණවීමට එයම සාධකයක් වෙන්න ඇති.
ප්‍ර: ඒක ඇඟලුම් ව්‍යාපාරයක් හැටියටත් ඒ වෙනකොට පැවතුණාද?
පි: නෑ. තාත්තා කරලා තිබුණේ ව්‍යාපාරයක් විදියට ඒ නම ලියාපදිංචි කරලා තිබුණ එක විතරයි. නමුත් තාත්තා මොකක්ද කරන්නේ කියන එක කල්පනා කරලා තිබුණේ නෑ. මම තමයි ඇඟලුම් ව්‍යාපාරය ආරම්භ කළේ. විලාසිතා නිරූපණ ශිල්පියෙක් වුණාට කමක් නෑ හැබැයි ව්‍යාපාරයක් පටන් ගන්න කියලා තාත්තා කිව්වා. ඒ වෙනකොට මටත් ප්‍රශ්නයක් තිබුණා. පරිසර සංරක්ෂණ වැඩවලට මුදල් සොයාගැනීම.
මුලදි මම උත්සාහ කළා විද්‍යා අංශයට සම්බන්ධ රැකියාවක් සොයාගන්න. නමුත් ඒක අසාර්ථක වුණා. ඉතුරු වුණේ ව්‍යාපාරයක් ආරම්භ කරන එක. අභියෝගයක් වුණත් මම ඒක බාරගන්න සූදානම් වුණා. ඒ වෙනකොට මගේ තාත්තා නවසීලන්තයේ කොන්සාල් ජනරාල්වරයා ලෙස පත්ව සිටියා. ඉතින් ඔහුගේ සම්බන්ධතාවයක් මත නවසීලන්තයේ ෂැම්පු වර්ගයක ලංකාවේ ඒජන්තවරිය වෙන්න මට පුළුවන් වුණා. මුල් අවස්ථාවේ එම ව්‍යාපාරයේත් මම නිරත වුණා. විලාසිතා සංදර්ශනවලින් ලැබෙන මුදල්වලින් මම ව්‍යාපාරය ආරම්භ කළා.
ප්‍ර: ඒ කාලේ විලාසිතාවලට විශාල ගෙවීමක් තිබුණාද?
පි: නෑ. අපිට රුපියල් දාහක් දෙදාහක් තමයි මුළු විලාසිතා සංදර්ශනයකටම සහභාගිවෙලත් ලැබුණේ. ඒ සල්ලි ඉතුරු කරලා තමයි මම ව්‍යාපාර ආරම්භ කළේ. මුලින්ම මම කළේ විවිධ වෙළෙඳ ව්‍යාපාරවලට ඔවුන්ගේ නම සඳහන් ටී ෂර්ට් සකස් කරලා දුන්නු එක. ඊට පස්සේ මම ටී ෂර්ට් වගයකුත් සකස් කළා. අදටත් ඒ ටී ෂර්ට් ඔඩෙල් එකේ විකුණන්න තියෙනවා. ඉත්තෑවෙක්, අලියෙක්, කිඹුලෙක් සහ වඳුරෙක්ගේ චිත්‍ර තියෙන ටී ෂර්ට් තමයි සකස් කළේ. ඒක ඔබත් දැකලා ඇති. ඒ ටී ෂර්ට් හුඟක් ජනප්‍රිය වුණා. ඒකේ තියෙන චිත්‍ර ඇන්දේ සුනෙලා ජයවර්ධන. කොහොම හරි ඒ කාලෙම ඉන් ලැබුණු ලාබයෙන් කොටසක් මම අලි සංරක්ෂණ ව්‍යාපෘතියකට පරිත්‍යාග කළා. එතැනින් පස්සේ මම මේ ව්‍යාපාරයට තදින් නැඹුරු වුණා. ඒ කාලේ ලංකාව ප්‍රසිද්ධ කරන්න ලංකාවේ තියෙන විවිධ දේවල් නිරූපණය වන ටී ෂර්ට් සකස් කළා.
ප්‍ර: ඒ කාලේ ඔබට මේ ඇඳුම් විකුණන්න ගොඩනැගිල්ලක් තිබුණද?
පි: නෑ. ඒ කාලේ මගේ ඇඳුම් කඩේ වුණේ මට තිබිච්ච පරණ ස්ටේෂන් වැගන් කාර් එක. ඒ කාර් එකේ ඇඳුම් දාගෙන ගිහිල්ලා තමයි මම ඇඳුම් විකුණුවේ. මගෙ යාළුවෙක් හිටියා ඒ කාලේ ඇඟලුම් කර්මාන්තශාලා හිමි. ඔවුන්ගේ නිමි ඇඳුම් අතර ඉතිරි වන ඒවා මම මිලදී ගත්තා ඉතාම අඩු මුදලකට. මොකද ඒ කාලෙත් එවැනි ඉතිරි වන ඇඳුම්වලට කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ ඇඳුම්වලින් මම මගේ ව්‍යාපාරය පුළුල් කළා. මුලින්ම ඒ ඇඳුම් මගේ යාළුවන්ට මම සාධාරණ මිලකට විකුණුවා. ඒ වගේම කොළඹ තිබ්බ පොඩි පොඩි ඇඳුම් කඩවලට ඒ ඇඳුම් මම ම අරගෙන ගිහිල්ලා තොග ගානට ලබා දුන්නා. ඒ කාලේ මම වැඩිය අවධානය යොමු කළේ තොග වෙළෙඳාමට.
ප්‍ර: කාන්තාවක් විදියට තනිව මේ වැඩ කරන්න ඔබට අපහසු වුණේ නැද්ද?
පි: ඇත්තටම මට එහෙම අපහසුවක් තේරුණේ නෑ. දැන් කාලේ වගේ ඒ කාලේ එතරම් ගැටලු තිබුණෙත් නෑ. මම මගේ උපරිම ශක්තිය යොදලා ඒ කුඩා ව්‍යාපාරය ශක්තිමත් කළා.
ප්‍ර: එතකොට ඔබ කඩයක් පටන්ගන්නේ කොයි කාලෙද?
පි: ඔය විදියට වෙළෙඳාම් කරගෙන යනකොට මටත් හිතුණා කඩයක් පටන්ගන්න. ඒ අනුව තමයි මම ඩික්මන් පාරේ පොඩි ඇඳුම් කඩයක් පටන් ගත්තේ. මට මතක හැටියට ඒ 1990 විතර. ඒ කඩේ පටන්ගන්න වෙලාවේ අයියත් අම්මත් මට රුපියල් 30,000 ක් දුන්නා. ඒ මුදලත් මං ගාව එකතු කරන් තිබුණු මුදලුත් එක්ක තමයි මම ව්‍යාපාරය ආරම්භ කළේ. අදටත් මට මතකයි කඩේ තීන්ත ගාලා සකස් කළේ මම මයි. ඒ තීන්ත ගන්න අර සල්ලි පාවිච්චි කළා. ඊටපස්සේ මම දෙන්නෙක්ව වැඩට ගත්තා. ඒ දෙන්නා තාමත් ඉන්නවා ඔඩෙල් එකේ. කාලයක් එතැන කරගෙන යනකොට මගේ ඇඳුම් කඩේ ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. බොහෝ අය කඩේ හොයාගෙන එන්න පටන් ගත්තා. විශේෂයෙන්ම විදේශිකයෝ පවා එන්න පටන් ගත්තා. ඇතැම් ගුවන් සේවාවල සේවය කරන සාමාජිකයන් ලංකාවට ආපු ගමන් මගේ කඩේට එන්න පුරුදුවෙලා හිටියා. ටිකෙන් ටික බිස්නස් වැඩිවුණා. ඊට පස්සේ මම ඒ බිල්ඩිමේ යට තට්ටුව සම්පූර්ණයෙන්ම ලබාගත්තා. ඊට පස්සේ දෙවැනි තට්ටුවත් තුන්වැනි තට්ටුවත් වශයෙන් ව්‍යාපාරය පුළුල් කළා. උඩම තට්ටුවේ මැෂින් කීපයක් දාලා පොඩි ගාමන්ට් එකක් මම පටන් ගත්තා. ඒකේ මහන ඇඳුම් කෙළින්ම පහළට දාලා අලෙවි කළා.
ප්‍ර: ඊට පස්සේ ව්‍යාපාරය තවත් පුළුල් කළා?
පි: ඔව්. ඩික්මන් පාරේ එකට අමතරව මැජෙස්ටික් සිටි වැනි ස්ථාන කිහිපයකම පොඩි පොඩි ඇඳුම් ප්රදර්ශනාගාර ආරම්භ කළා. මට මතක හැටියට 92-93 වෙනකොට මම ඒ වගේ පොඩි ඇඟලුම් වෙළෙඳසල් 9ක් පමණ කොළඹ දාලා තිබුණා. ඊට පස්සේ නිමි ඇඳුම් වගේම වෙනත් දේත් විකුණන්න පුළුවන් කියලා මට අවබෝධ වුණා. ඒ අනුව සපත්තු, සෙරෙප්පු, අත් බෑග්, බඳ පටි වැනි දේවලුත් මම වෙළෙඳපොළට දැම්මා. මම ම රට ගිහිල්ලා අලුත් ඇඳුම් විලාසිතා තෝරාගෙන ඒවා ලංකාවට අඳුන්නලා දුන්නා. එන්න එන්නම ඒ නව විලාසිතා ජනප්‍රිය වුණා. ජනතාව ඒවා වැලඳගත්තා. මගේ පරිසරයට ආදරය කරන අරමුණ වෙත යන්න මම පුළුවන් උපරිමයෙන් ව්‍යාපාරය දියුණු කළා. එහෙම දියුණු කරන් යනකොට ඩික්මන් පාරේ සාප්පුව ගින්නකට හසුවෙලා සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මට සිද්ධ වුණේ ආයේ මුල ඉඳලා පටන් ගන්න. මම ඒ අභියෝගයටත් මුහුණ දීලා ජයගත්තා.
අභියෝග මතින් ජයගැනීම
ප්‍ර: මුහුණදුන් අපමණ බාධක හා අභියෝග මොනවාද?
පි: අභියෝග හා බාධක යන්න සෑම සාර්ථක ගමන් මාවතකම පවතින්නක්. මම හිතන්නේ හැම අභියෝගයකින්ම අපිව මුවහත් කරනවා. අපිට අවස්ථාවක් නිර්මාණය කරලා දෙනවා. කොහොමහරි ව්‍යාපාරික ලෝකය වෙත ප්රවිශ්ට වන මට මුහුණපෑමට තිබුණ ප්‍රධානතම අභියෝග වන්නේ, ව්‍යාපාරයක් මෙහෙයවීමේදී අවශ්‍ය වන මූල්‍යමය හා පරිපාලනමය දැනුම වගේම සේවකයන් හසුරුවන්නේ කොහොමද යන කාරණා. අනෙක් කාරණය තමයි බිහිසුණු යුධමය වාතාවරණයක පැවැති අප රට තුළ ව්‍යාපාරයක් කෙසේ හැසිරවිය යුතුද, කෙසේ එය ඉදිරියට ගෙන යා යුතුද යන කාරණය. ඉතිං මම හිතන්නේ මෙවැනි දේ ජයගැනීම තමයි මගේ විශාලම අභියෝගය වුණේ කිව්වොත් නිවැරදියි.
ප්‍ර: ව්‍යාපාරයක් සාර්ථකත්වය කරා මෙහෙයවන ගමනේදී පාරිභෝගිකයා තෘප්තිමත්ව තැබීම සඳහා ව්‍යවසායකයෙක් මූලෝපායයන් දියත් කළ යුතුයි. එය ව්‍යවසායකයෙකුට මුහුණදීමට සිදුවන විශාල අභියෝගයක්. ඉතිං ව්‍යාපාරය මෙහෙයවන විට ඔබට එවැනි අභියෝගයකට මුහුණදීමට සිදු නොවුණේ ද? එවන් අභියෝගයක් පැවැතියේ නම් ඔබ එම අභියෝගය ජයගත්තේ කෙසේද?
පි: ඇත්තටම, එය ව්‍යාපාරයක් මෙහෙයවන විට ව්‍යවසායකයෙක් අවධානය යොමු කළයුතු මෙන්ම ඔවුන් ජයගත යුතු විශාල අභියෝගයක්. පාරිභෝගිකයා තෘප්තිමත්ව තැබීමට යම්කිසි ව්‍යවසායකයෙක් දරන උත්සහය මත බොහෝවිට ව්‍යාපාරයක සාර්ථකත්වය රඳා පවතිනවා කිවහොත් නිවැරදියි. ඇත්තටම, එය මට විශාල අභියෝගයක් වුණා. පාරිභෝගිකයා තෘප්තිමත්ව තැබීමට අවශ්‍ය කරන ව්‍යාපාරික මූලෝපායයක් සකස් කරගැනීමට මම උත්සහ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන පියවර පහක් ඔස්සේ යමින් එම අභියෝගයට අභියෝගයක් වෙන්න මට හැකියාව ලැබුණා. පාරිභෝගික තෘප්තිය ඇති කිරීමට අවශ්‍ය පරිදි කාර්යමණ්ඩල පුහුණුව, කාර්යක්ෂමතාවය, ඵලදායිතාව, කදිම හා මනා නිමාවකින් යුත් වෙළඳ භාණ්ඩ, ස්මාර්ට් සහ බුද්ධිමත් විලාසිතා හඳුන්වාදීම යන පියවරයන් ඔස්සේ පාරිභෝගිකයා උපරිම අයුරෙන් තෘප්තිමත් කිරීමට අවශ්‍ය හැකියාව මා විසින් නිර්මාණය කරගනු ලැබුවා.
ප්‍ර: ඔබ ඉහත කී අනෙකුත් අභියෝගයන්ට අභියෝගයක් වන්නේ කෙසේද කිව්වොත්? විශේෂයෙන්ම, ඔබ ඉහත පැවැසූ පරිදි ව්‍යාපාරික දැනුමක් නොමැති වීම කියන කාරණය?
පි: ඇත්තටම, මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි සාර්ථකත්වය යන්න වාසනාව මතම පමණක් ලැබෙන දෙයක් නොව, එය දැඩි කැපවීමක අප්‍රතිහත ප්‍රතිඵලයක් කියන දේ. ඉතිං මම මගේ ඉලක්කයන් කරා යාමට බාධකයක්ව පැවැති ව්‍යාපාරික දැනුම ප්‍රමාණවත් නොවීම යන කාරණය පූර්ණ කරගැනීමට දැඩි කැපවීමකින් යුත් ඉගෙනුම් කි‍්‍රයාවලියක් දියත් කරනු ලැබුවා. මෙම ඉගෙනුම් ක්‍රියාවලියේ විශේෂත්වය වන්නේ එම ක්‍රියාවලියේ නියමුවා මම ම වීමයි. ව්‍යාපාරික ලෝකයේ සාර්ථක චරිත පිළිබඳව කියවීමේ මෙහෙයුමක් මම විසින් දියත් කළා. මොකද දැනුම මෙන්ම අත්දැකීම් ද ලබාගත හැකි ඉගෙනුම් මාධ්‍යයක් ලෙස එය වඩාත් ප්‍රබල නිසා. එහිදී මට හමුවුණු විශේෂ චරිත දෙකක් තමයි, ෆෝචූන් සඟරාව විසින් සහශ්රකයේ කළමනාකරුවා නමින් හැඳින්වූ ජැක් වෙල්ච් සහ සාර්ථක වෙළඳ නාමයක් සුවඳ සබන් වටා ගොඩනගමින් ලෝකයේ අතිවිශාල වෙනසක් කළ ඇනිටා රොඞ්රික් කියන දෙදෙනා. මේ දෙදෙනා පමණක් නොව ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වයට පත් බොහෝ චරිත කතා කියවන්නට හා ඒවා අධ්‍යයනය කරන්නට මම පටන්ගත්තා. මේ හරහා මගේ ව්‍යාපාරික දැනුම පුළුල් කරගැනීමට කාලය කැපකිරීම අපහසු අවස්ථාවන්වල මම සම්මන්ත්රණ සඳහා සහභාගි වුණා. වෙළඳපොළ අධ්‍යයනය කළා. ගවේෂණය කළා. සකී‍්‍රය ලෙස දායකවෙමින් අවදානම්වලට මුහුණදෙන්නේ කොහොමද ඒවා දරාගන්නේ කොහොමද කියන දෙය ඉගෙන ගත්තා. මේ වගේ ස්වයං ඉගෙනුම් ක්‍රියාවලියක් තුළින් මම මගේ ව්‍යාපාරික දැනුම ඔපමට්ටම් කරගනු ලැබුවා. මම හිතන්නේ මෙය දැඩි කැපවීමකින් මා ලද ප්‍රතිඵලයක් බවයි.
ප්‍ර ව්‍යාපාර ව්‍යාප්තියක් සිදුකිරීම අවදානම් සහිත තත්ත්වයක්. මෙය අවදානමක් ලෙස සලකා ව්‍යාප්ත කිරීම සීමා කරගෙන සිටින ව්‍යාපාරිකයන්ට ඔබ ලබාදෙන පිළිතුර මොනවගේද කිව්වොත්?
පි: අනෙක් අයට සාපේක්ෂව ව්‍යවසායකයෙක්ට හැකිවිය යුතුයි අවදානම් දරාගැනීමට. අවදානමක් නො දරා සාර්ථකත්වය කරා යාම අපහසු දෙයක්. තමන්ට පෙර තබා අවස්ථාවන් හඳුනාගැනීමට තරම් දැක්මක් පවතිනවා නම් යම්තාක් දුරට අවදානමක් යන්න ලිහිල් කරගත හැකියි. එහෙත් එම පෙර දැක්ම යන්න ඉබේ පහළ වන්නක් නොවෙයි. එය තමන් ලබා ඇති අත්දැකීම් ප්‍රමාණය මත තීරණය වන්නක්. අත්දැකීම් ලබාගැනීමටත් අපි අවදානම් දැරිය යුතු වෙනවා. අවදානම් දරන විට අපි අත්දැකීම්වලින් පෝෂණය වෙනවා. එම අත්දැකීම් අපට පෙරදැක්මක් නිර්මාණය කරගැනීමට පිටිවහලක් වෙනවා. මම කියන්නේ ශක්තිමත් ව්‍යවසායකයෙක් හැමවිටම අවදානම් බාරගත යුතුයි. තමන් කුමක්ද කරන්නේ යන්න මත සිත පිහිටුවා නිවැරදිව ඒ දේ කරන්න. තමන්, තමන් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කරන්න. එවිට එය අවදානමක් යැයි නොසිතේවි.
ප්‍ර: ඔබ ඔඩෙල් ව්‍යාපාරයෙන් ඉවත් වී දැනට වසරක පමණ කාලයක් වෙනවා. එහෙත් ඔබගේ ‘ඔඩෙල්’ නාමය තාමත් එම ව්‍යාපාරය වටා පාරිභෝගිකයන් ඒකරාශී කරවීමට දායකත්වයක් ලබාදෙනවා. මෙවැනි නාමයක් සකසාගන්නට නම් ව්‍යවසායකයෙක් කළ යුත්තේ?
පි: විශාල මිනිසුන් පිරිසකගේ ජීවන රටාවේ කොටසක් බවට පත්ව ඇති නිෂ්පාදන භාණ්ඩයක් තෝරාගත යුතුයි. පාරිභෝගිකයා විශේෂ කර දක්වන කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කළ යුතුයි. අනෙක් අයට සාපේක්ෂව පාරිභෝගිකයාට විශේෂ යමක් පිරිනැමිය යුතුයි. ප්‍රමිතිසහගත දෙයක්ම ලබාදිය යුතුයි. මම ඉහතදී ප්‍රකාශ කළා වගේ, අපි නිතරම පාරිභෝගික තෘප්තිය වර්ධනය වන දෙයක්ම කළ යුතුයි. එවිට එක් දිනකට සීමා නොවී හැමදාටම එම නාමය වටා පාරිභෝගිකයන් එකරාශී වී සිටීවි.
ප්‍ර: ව්‍යාපාරික පසුබිම් නිර්මාණය කිරීමේදී, බොහෝවිට සාම්ප්රදායයික ලොව හා නව ලොව මුසු වූ ආකෘතීන් භාවිත කිරීමට පෙළඹීම නව ප්‍රවණතාවක් බවට පත්වී තිබෙනවා. මෙය පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමේ උපක්රමයක්ද?
පි: මම හිතන්නේ එය පාරිභෝගික ආකර්ෂණය දිනාගැනීමේදී ව්‍යවසායකයෙක්ට භාවිත කළහැකි කලාවක් කිව්වොත් නිවැරදියි. ඇත්තටම ඔඩෙල් ප්‍රධාන අලෙවිසැල සාම්ප්රදායයික ලෝකය හා නව ලොව අතර පාරිභෝගිකයා අතරමං කරවන අයුරේ යටත්විජිත කාලයේ පැවැති ගෘහ නිර්මාණ ශිල්පයෙන් ඔපවත් වූවක්. නමුත් එහි අභ්‍යන්තරයට යනවිට එය නවලොවෙහි විලාසිතාවලින් යුක්ත වෙනවා. මම හිතන්නේ එකම මහලක් තුළ පාරිභෝගිකයන්ට විවිධ අයුරේ අත්දැකීම් විඳගත හැකිවන පරිදි එහි පසුබිම නිර්මාණය කර පැවැතීම පාරිභෝගික ආකර්ෂණය ලබාගැනීමට හේතුවක් වෙනවා. හැමවිටම එම පසුබිම නව පැරණි කියන කාරණයට පමණක්ම ලඝුකොට දැක්වීම ප්‍රමාණවත් නෑ. නමුත් පාරිභෝගික ආකර්ෂණයකට අවශ්‍ය පසුබිමක් ව්‍යාපාරය තුළ ගොඩනගා තිබීම නම් අවශ්‍ය වන්නක්.
අනාගත වෙළඳපොළ
ප්‍ර: අපේ රටේ අනාගත අලෙවිකරණය සම්බන්ධයෙන් ඔබේ දැක්ම කුමක්ද? විශාල සාප්පු සංකීර්ණ/වෙළඳ සංකීර්ණ ආකෘති පැවැතීම යහපතක් උදා කරාවිද? ඒවාට අඛණ්ඩ පැවැත්මක් පවතින්නේද?
පි: වෙළඳපොළ, අතිවිශාල ලෙස අඛණ්ඩවම සංකීර්ණ වෙමින්, විවිධාංගීකරණය වූ වෙළඳපොළක් සෑම නගරයකම නිර්මාණය වන නමුත් ගැටලුව වන්නේ විශාල වන වෙළඳ සංකීර්ණ අනුපාතය හා සමගාමීව මිනිසුන්ගේ වියදම් කිරීමට හැකි අනුපාතය ක්‍රමයෙන් වැඩි වෙනවාද යන්නයි. එහි පැවැත්ම, වර්ධනය කොහොමවුවත් සියල්ල එකම ස්ථානයකින් ලබාගත හැකි ආකාරයේ වෙලඳ ජාලයක් බිහිවීම ඉදිරියේදී ප්‍රවණතාවයක් බවට පත්වෙයි.
අනුකරණයක් නොව අනන්‍යතාවයක්…
ප්‍ර: ඔබ සමාජ ස්ථරය තුළ අතිසාර්ථක චරිතයක් ලෙස හඳුනාගත්තියක්. ඔබව අනුකරණය කරන්නට යම් අයෙක් පෙළඹෙන්නේ නම් එය ඔබ දකින්නේ?
පි: අනුකරණය කියන්නේ පුරාජේරු කතාවක් විතරයි. ඔබට හැඟෙන්නේ දැනෙන්නේ කුමක්ද ඔබ ඒ දෙය කරන්න. අනුකරණය යන්න හැමවිටම කි‍්‍රයාත්මක වෙන්නක් නොවේ. ඔබ ඔබටම අනන්‍යතාවක් ගොඩනගා ගන්න. සාර්ථක මිනිසුන් අනුකරණය කිරීම වෙනුවට ඔබ කළ යුත්තේ ඔවුන් පරමාදර්ශයක් කරගැනීමයි. ‘අනුකරණය’ හා ‘පරමාදර්ශී’ බව යන්න පටලවා නොගත යුතුයි. එබැවින්, සාර්ථක මිනිසුන්ගේ හරවත් දේ පමණක් පේ‍්‍රරණය කරගනිමින් ඔබ ඔබම වන්න.
ප්‍ර: ආයතනික කවයක් තුළ සංස්ථාපිත සමාජයීය වගකීම් යන්න හුදු මෝස්තර කතාවක් පමණක්ද? එසේ වී නම් ව්‍යාපාරිකයන් මෙම වගකීම සිදුකළ යුත්තේ කෙසේද?
පි: මම හිතන්නේ බොහෝ වෙලාවට යම් ව්‍යාපාරිකයෙක් මෙම වගකීම ඉටුකරනු ලබන්නේ හරි ලකුණක් දමාගැනීම උදෙසා පමණයි. සමාජයීය වගකීම් ඉටුකිරීම යන්න ව්‍යාපාරයක අත්‍යවශ්‍යම දෙයක් බවට පත්ව ඇති අද දවසේ එය හදවතින්ම කළ යුත්තක්. සමාජ හා පාරිසරික සවිඥානිකතාව සාර්ථක ව්‍යාපාරයක පැවැතිය යුතුයි. අපගේ වනජීවින් සහ වනාන්තර ආරක්ෂා කළ යුතුයි. විශාල අසමතුලිතතාවක් තුලනය කිරීමේ අරමුණෙන් හදවතින්ම යමක් සිදුකළ යුතුයි. අනාගත පරපුර වෙනුවෙන් අප කරනු ලබන හොඳම ආයෝජනය වන්නේ එයයි. මඩිය පමණක් තරකර ගනිමින් පාරිසරික සමතුලිතතාවය ආරක්ෂා කිරීම නොසලකා හැර කොන්ක්‍රීට් ව්‍යුහයක් පමණක් පෝෂණය කරන්නට දායකවන්නේ නම් අපේ හෙට දවස කෙසේ වේවිද යන්න ඔබම වටහාගත යුත්තක්.
මිහිලියේ අඬහැරයට හද උපන් ස්නේහයෙන් යළි පිබිදුණ ඔටාරා
ප්‍ර: සත්ව හිතවාදිනියක් හා පරිසර හිතවාදිනියක් ලෙස ඔබට වන ආකල්පය කොහේ සිට පැමිණියක් ද?
පි: මේ ලොවෙහි එළිය දුටු මොහොතේ සිට එය මට ලැබුණු තෑග්ගක්. අපි සියලු දෙනාම මේ ලොවට දායාද වී ඇත්තේ යහපත් යමක් මේ මිහිතලය වෙනුවෙන් සිදුකිරීමට. එහිදී අප අපගේ යහපතට වඩා අන් අයගේ යහපත පිළිබඳ සිතා යමක් සිදුකළ යුතුයි. මගේ ලෝකය යැයි නොකියා අපේම ලෝකය යැයි කියන්නට සමත් පසුබිමක් සකස් කිරීමේ අරමුණෙන් අප යමක් සිදුකළ යුතුයි. ගහකොළ, සතා සිව්පාවන් වෙනුවෙන් මගේ හදවතේ උපන් ඒ ආදරය, කරුණාව, දයාව පහළවීමට වෙනත් හේතු සාධක අවැසි වෙන්නේ කුමකටද? එය එක් අතෙකින් මානවයෙක් ලෙස උපත ලද මොහොතේ කෙනෙක්ට පැවරෙන වගකීමක්. තවත් කාරණයක් තමයි කෙනෙක් හෝ දෙයක් වෙනුවෙන් ආදරය, ඇල්ම ඇති වන්නට හේතු සාධක අවශ්‍ය වෙන්නෙ නෑ. එය මානවයෙක් ලෙස උපත ලද සියලු දෙනාටම උරුම වන්නක්. වෙනස ඇත්තේ එය අඩු වැඩි වශයෙන් එකිනෙකා තුළ පිහිටීම පමණයි.
ප්‍ර: ‘ඔටාරා’ යන්නෙහි සැබෑම අර්ථය වන්නේ ‘පුනර්භවයක ප්‍රතිමුර්තිය’ යන්නයි. ඔබේ මේ සාර්ථක කතාවේ සන්ධිස්ථාන දෙකක් එක්හාසු කර බලන විට එය නමට පමණක් නොව සැබෑවටම සිදුවූවක් දැයි කෙනෙකුට සිතිය හැකියි. ඔඩෙල් සාර්ථක කතාවෙන් නික්ම යන ඔබේ සාර්ථක කතාවේ පුනර්භවය (නැවත ඉපදීම) සිදුවන්නේ එම්බාර්ක් පිහිටුවීම තුළින් ද?
පි: ඇත්තටම, එය මටත් නොහිතුණු කාරණාවක්. කොහොම නමුත් මගේ පරණ Blue Wagon කාරයෙන් පටන්ගත් අතිසාර්ථක ඔඩෙල් ව්‍යාපාරික චාරිකාව විදේශය දක්වාම ව්‍යාප්ත කරමින් 2014 දී නිමාකරනු ලැබුවා. මම විශ්වාස කරනවා ඔඩෙල් මට පුරුදු කළා අභියෝග ජයගන්න. බොහෝ දේ ඉගෙන ගන්න. ඒ තුළින් ජයග්‍රහණ බොහොමයක් ලබාගත්තා. හැමකෙනෙකුටම ජීවිතයේ යම්කිසි බලාපොරොත්තුවක් පවතිනවා. එම බලාපොරොත්තු භෞතිකමය වගේම ආධ්‍යාත්මිකව ද පවතිනු ලබනවා. අවුරුදු 50ක් පුරා ඔඩෙල් වටා ගෙතුණු කතාව අවසන් කර මම මගේ කැමැත්ත ආශාව වගේම මගේ ජීවිතය ඇතුළාන්තයෙන්ම ආමන්ත්‍රණය කරන හඬට ඇහුම්කන් දෙන්නට වුණා. ඒ අනෙකක් නොව හදවතින්ම පැමිණුන සත්ව හිතවාදය හා පරිසර හිතවාදයයි. එම්බාර්ක් ගොඩනැගෙන්නේ එකී අරමුණ මුදුන් පමුණුවාගැනීම සඳහායි. ආදරය අහිමි වූ සත්ත්ව කොට්ඨාශයන් රැකබලා ගැනීමට හා පරිසරය සුරක්ෂිතව පවත්වා ගැනීමට අවශ්‍ය කරන ව්‍යාපෘතිවලට ආධාර ලබාදීමේ අරමුණින් මම ඔඩෙල් වලින් එම්බාර්ක් වෙත පැමිණෙනවා. මම හිතන්නේ එක් අතෙකින් ඔඩෙල් වෙතින් නික්මීම කතාවේ අවසානය නොව ආරම්භයක් වන්නේ එම්බාර්ක් පිහිටුවීම නිසයි.
ප්‍ර: මෙතෙක් කල් පැමිණි සාර්ථක ගමන් මාවතේදී ඔබට තවත් යමක් කිරීමට ඉතිරි වී පවතින්නේද? එසේනම් ඒ කුමක්ද?
පි: මම බලාපොරොත්තු වෙනවා ලෝකය යම්තාක් දුරට හෝ සුබවාදී ලෙස වෙනස් කරන්න. ලංකාව සහ ලෝකය යන දෙ අංශය සඳහාම ලොකු වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස වෙනුවෙන් මම යමක් සිදුකළ යුතුයි. අනාගත පරපුරේ පැවැත්ම සඳහා හදවතින්ම දායක වන කොටස්කරුවෙක් වීම මගේ එකම බලාපොරොත්තුවයි.