Simply share what you have to share... |


Sadamali Weerasooriya | Student @ University of Ruhuna | 1 year ago

පරීක්ෂණය

Creative Writing Short Story


මහනුවර  දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි අසිත තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.

ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,විශ්වරා .

ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය ගම්පහ  නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව යුද්ධයට සහභාගී වීමට ඔහු පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.අසිත ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.

ඔහු පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම මහනුවර  දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය.

"මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්" ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා අසිත නියමිත දින සවස 5.30 වන විට මහනුවර  දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.

කතාවේ මීලග කොටස අසිතගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්නම්

"හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි.

ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ විශ්වරා වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය...ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.

මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.

මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා.

ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා,

"මම ලුතිනන් අසිත,ඔබ විශ්වරා  විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක් මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා"

.කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා

"මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම " ඇය පිලිතුරු දුන්නා

"මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. "" මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා"


No comments yet.

Sadamali Weerasooriya | Student @ University of Ruhuna | 1 year ago

පාන්

Creative Writing Short Story


මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

 

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි. බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

 

"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.

එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

 

"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"

එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

 

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන අමිල සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.

එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.

අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

 

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර අමිල කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

 

"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.

වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.

 

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි. මෙය ලියන මම, මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ, ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී. එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.


No comments yet.

Sadamali Weerasooriya | Student @ University of Ruhuna | 1 year ago

මල් පොකුර

Creative Writing Short Story


මැදි වියේ පසු වූ මිනිසෙකු මල් සාප්පුවක් අසල තම මෝටර් රථය නවත්වා මෝටර් රථයෙන් ඉවතට පැමිනියේය . ඔහුට අවශ්‍ය කර තිබුනේ අද දින තම හැත්තෑ වන උපන් දිනය සමරන මව වෙත මල් කළඹක් යැවීමටයි. ඇය වාසය කලේ ඔහු ජීවත් වූ නගරයට කිලෝමීටර 200ක් පමන දුරින් වූ කුඩා නගරයකය.

 

මෝටර් රථයෙන් ඉවතට පැමින මල් සාප්පුව දෙසට යන ඔහු දුටුවේ මල් සාප්පුවෙන් පිටත බංකුවක් මත වාඩි වී හඩමින් සිටින කුඩා දැරියකි. කුතුහලයෙන් ඈ වෙත ගිය ඔහු ඇගෙන් හැඩීමට කාරනාව විමසා සිටියේය..

"අද අපේ අම්මගේ උපන් දිනේ... මට අම්මට දෙන්න රතු රෝස මලක් ගන්න ඕනේ,ඒත් මගේ ලග තියෙන්නේ ඩොලර් එකයි,රතු රෝස මලක් ඩොලර් දෙකයි" යැයි එයට පිලිතුරු ලෙස දැරිය දුක්බර හඩින් කියා සිටියාය.

මද සිනහවක් පෑ ඔහු මෙසේ කීවේය

 

"එන්න දුව මාත් එක්ක... මම දුවට රතු රෝස මලක් අරන් දෙන්නම්"

ඔහු කුඩා දැරියට රතු රෝස මල් කළඹක් මිලදී දුන් අතර තම මව සදහා අවශ්‍ය මල් ඇනවුම් කර ඒවා යැවිය යුතු ලිපිනය මල් සාප්පුවට ලබා දුන්නේය.

ඔවුන් දෙදෙනා මල් සාප්පුවෙන් පිටතට පැමිනි අතර කුඩා දැරියව නිවසට ගොස් ඇරලවීමට ඔහු ඉදිරිපත් විය.

"හා අංකල් එහෙනම් මාව අම්මා ලගට එක්ක යන්න " යැයි පැවසූ කුඩා දැරිය ඔහුගේ ආරාධනාව ප්‍රීතියෙන් පිලිගත්තාය.

ඇය ඔහුට මග පෙන්වූ අතර අවසානයේ නගරයේ සොහොන් පිටිය අසල මෝටර් රථය නැවැත්වීමට පැවසූ ඈ අලුත වල දැමූ මිනී වලක් අසලට ගොස් රතු රෝස මල් කළඹ ඒ මතින් තැබුවාය.

කුඩා දැරිය නිවසට ගොස් ඇරලවූ මිනිසා යලිත් මල් සාප්පුවට පැමිනි අතර තමාගේ ඇනවුම අවලංගු කලේය.

මල් සාප්පුවේ වූ අලංකාරම මල් කළඹ මිලදී ගත් ඔහු කිලෝමීටර් 200ක් දුර වෙසෙන මවගේ නිවස වෙත පිටත් විය

 

ජීවිතය කෙටියි ,ඔබට හැකි තරම් කාලයක් ඔබ ආදරය කරන පුද්ගලයන් සමග ගත කරන්න,ඔවුන් වෙනුවෙන් කැප වෙන්න. . ඔබ ප්‍රමාද වැඩි වීමට ප්‍රථමයෙන් ජීවිතයේ සෑම මොහොතක්ම ඔවුන් සමග රස විදින්න,ඔබේ පවුලට වඩා වටිනා කිසිවක් මෙලොව නොමැත.


No comments yet.

Sadamali Weerasooriya | Student @ University of Ruhuna | 1 year ago

ඇය

Creative Writing Short Story


වසර විස්සකට පමන පෙර මම ජීවිකාව සදහා කැබ් රථයක් ධාවනය කලෙමි. ඇත්තෙන්ම එය කටුක වුවත් සොදුරු රැකියාවකි,විශේෂයෙන්ම ස්වාමියෙක් යටතේ සේවක කිරීමට අකමැති ස්වාධීන අයෙකුට එය වඩාත් ගැලපුනි. එම කාලය තුල මට නොයෙකුත් ආකාරයේ මිනිසුන් සිය දහස් ගණනක් මුණගැසුනි. බොහෝ විට රාත්‍රී සේවය කරන විට මගේ කැබ් රියට ගොඩ වන බොහෝ මගීන් ඔවුන් ගේ ජීවිතය පිලිබදව නොයෙකුත් තොරතුරු මා සමග පැවසූ අතරඇතමෙක් තමා කල වැරදි මට පාපොච්චාරනය කලෝය. මට මුනගැසුනු සමහර පුද්ගලයන් ගේ ජීවිත කතා විටක මා විශ්මයට පත් කලේය,විටක මා ශෝකයට පත් කල අතර තවත් විටක ඒවා මගේ මුවගට නැංවූයේ සිනාවකි.

 

නමුත් මගේ සේවා කාලය තුල මට මුනගැසුනු පුද්ගලයන් සිය දහසක් දෙනා අතුරින් තවමත් මගේ මතකයේ තදින්ම සටහන්ව ඇත්තේ එක් අගෝස්තු මාසයක රාත්‍රියේ මගේ කැබ් රථයට ගොඩ වූ එක් මහළු කාන්තාවක් පිලිබද වූ මතකයයි.

එදින මධ්‍යම රාත්‍රියේ මට නගරයේ ඈත කෙලවරේ වූ තට්ටු නිවාස සංකීර්ණයක් වෙත පැමිනෙන මෙන් ඇමතුමක් ලැබුනි. මීට පෙර ලබා තිබුනු අත්දැකීම් අනූව මා අනුමාන කලේ සාදයක් නිම වී නිවෙස් බලා පිට වීමට අවශ්‍ය තරුණයන් කණ්ඩායමක් හෝ තම සහකරු සමග දඹර කර ගත් පෙම්වතියක් කැබ් රිය ඇනවුම් කිරීමට ඇති බවකි.

 

පාන්දර 3 පමන වන විට මා නියමිත ස්ථානයට ලගා වූයෙමි. මුලු ගොඩනැගිල්ලම අදුරේ ගිලී තිබූ නමුත් බිම් මහලේ වූ එක් කාමරයක ජනේලය තුලින් ආලෝකයක් විහිදුනි.මෙවනි අවස්ථාව වල බොහෝ කැබ් රථ රියදුරන් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය නම් දෙතුන් වරක් නලාව ශබ්ද කර ප්‍රතිචාරයක් නොමැති නම් නැවතත් පිට වීමයි. නමුත් මා කිසිවිටකත් එසේ ක්‍රියා නොකලේ තමන්ගේම කියා මෝටර් රථයක් නොමැති පුද්ගලයන්ට ඕනෑම හදිසි අවස්ථාවක ඇති එකම විසදුම වන්නේ කැබ් රථ පමනක්ම වන බැවිනි.අනතුරක සේයාවක් නොමැති සෑම අවස්ථාවකම මා අදාල නිවස වෙත යන අතර සෑම විටකම සිතුවේ "මේ මගියාට මගේ සහාය අවශ්‍ය වනු ඇත" කියාය.

 

එදිනද සුපුරුදු ලෙස අදාල කාමරය අසලට ගිය මා එහි දොර සීනුව වරක් නාද කලේය. "මට තව මිනිත්තුවක් දෙන්න" දුර්වල වැඩිහිටි කාන්තාවකගේ ශබ්දයක් මට නිවස තුලින් ඇසුනි.

යමක් පොලව දිගේ ඇදගෙන එන ශබ්දයක් මට ඇසුනු අතර දිගු නිහැඩියාවකින් පසු ඉදිරි දොර විවෘත විය.නිවස තුලින් පිටතට පැමිනියේ අසූ වියැති පමන කුඩා මහළු කාන්තාවකි.ඇය වර්ණවත් ඇදුමකින් සැරසී හිස් වැස්මක්ද පැලද සිටි අතර මට ඇය පෙනුනේ 1940 දශකයේ සිනමා පටයක වූ චරිතයක් ලෙසිනි. ඇය පසෙකින් මදක් විශාල සූට්කේසයක් විය.එම නිවසේ වසර ගණනාවකින් කිසිවෙකුත් වාසය කල බවක් නොපෙනුනි.නිවසේ සියළු ගෘහ භාණ්ඩ ආවරණය කර තිබූ අතර බිත්ති මත ඔරලෝසු හෝ වෙනත් සැරසිලි කිසිවක් නොවීය.සාලයේ පසෙක් වූ කාඩ්බෝඩ් පෙට්ටියක රාමු කල ඡායාරූප විශාල ප්‍රමානයක් අසුරා තිබුනි.

 

"මගේ සූට්කේස් එක කැබ් එකට ගෙනියන්න පුලුවනිද පුතාට" මහළු කාන්තාව ඇසුවේය

මා සූට්කේසය රැගෙන කැබ් රියේ තැන්පත් කල අතර නැවත පැමිනියේ මහළු කාන්තාවට කැබ් රිය දක්වා පැමිනීමට උපකාර කිරීමටයි.ඇය මගේ අතින් අල්වා ගත් අතර අප දෙදෙනා ඉතා සෙමින් කැබ් රිය දක්වා පැමිනියෙමු.ඇය දිගින් දිගින් දිගටම මගේ කරුණාවන්තකම පිලිබදව ප්‍රසංශා කලාය.

"ඒක සුළු දෙයක් මැඩම්" "මම හැම වෙලාවටම මගේ මහළු මගියොන්ට සලකන්නේ මගේ අම්මට වගේ" මම පැවසූවෙමි.

 

"ඔයා ගොඩක් හොද පුතෙක්" ඇය පිලිතුරු දුන්නාය

කැබ් රියට ගොඩ වූ පසු ඈ මට ලිපිනයක් සහිත කොළ කැබැල්ලක් ලබා දුන් අතර මගෙන් මෙසේ විමසුවාය. "පුතේ අපි පරණ ටවුන් එක පැත්තෙන් යමුද"

"ඒ පැත්තෙන් දුරයිනේ මැඩම්" මම දෙවරක් නොසිතා පිලිතුරු දුන්නෙමි

"ඒකට කමක් නෑ පුතේ...මට හදිස්සියක් නෑ" ඇය පැවසුවාය

මා පිටුපස බලන කණ්ණාඩියෙන් ඇය දෙස බැලූවෙමි. මා දුටුවේ ඇයගේ දෑස් දිදුලන ආකාරයයි,ඒවා කදුලු පටලයකින් වැසී තිබුනි.

"මට මගේ කියලා කවුරුත් ඉතිරි වෙලා නෑ,දොස්තර කිව්වා මට තව වැඩි කාලයක් නෑ කියලා"

මම ඇයට නොදැනෙන ලෙස කැබ් රියේ මීටරය විසන්ධි කලෙමි.

"මැඩම්ට යන්න ඕනේ කොයි පැත්තෙන් ද කියලා මට කියන්න " පැවසූ මම ගමන ආරම්භ කලෙමි.

ඊළග පැය දෙකක කාලය තුල අපි නගරය පුරා සංචාරය කලෙමු.ලිපිකාරිනියක වශයෙන් ඇය තම පලමු රැකියාව කල ගොඩනැගිල්ල ඇය මට පෙන්වූවාය.නගරයේ පැරණි කොටස හරහා මා කැබ් රිය ධාවනය කල අතර විවාහ වූ අළුත සැමියා සමග වාසය කල පැරණි නිවස අසල රථය මද වේලාවකට නැවැත්වූවේ ඇගේ ඉල්ලීම පරිදිය.මද දුරක් ගිය පසු ඇගේ ඉල්ලීම පරිදි යලිත් කැබ් රිය නතර කලේ ගෘහ භාණ්ඩ වෙලද සැලක් අසලිනි. කලකට ඉහත එය නෘත්‍ය ශාලාවක්ව තිබී ඇති අතර මහලු කාන්තාව නව යොවුන් තරුණියක සමයේ මිතුරියන් සමග එහි පැමින ඇත්තේ නර්තන පුහුණුව සදහායි.සමහර විටක පැරණි ගොඩනැගිල්ලක් අසල කැබ් රිය නවතන ලෙස මගෙන් ඉල්ලා සිටි ඇය කිසිවක් නොකියා ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියාය.

නව දිනයක ප්‍රථම හිරු රැස් පොලව මත පතිත වන මොහොතේ හදිසියේ මා දෙස බැළු ඇය "දැන් ඇති පුතේ අපි යමු මට දැන් ගොඩක් මහන්සි" යැයි පැවසුවාය .

 

මා නිහඩව ඇය ලබා දුන් ලිපිනය වෙත රථය ධාවනය කල අතර එය නගරයෙන් මදක් දුරින් වූ මහළු නිවාසයක් වූවේය.මා කැබ් රිය එහි පෝටිකෝවේ නතර කල විගස රථය වෙත පැමිනියේ මහළු නිවාසයේ සේවකයන් යැයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් ප්‍රවේශමෙන් ඇයව මහළු නිවාසය තුලට රැගෙන ගියෝය.

රථයෙන් බැස ගත් මා ඇයගේ සූට්කේසය රැගෙන මහළු නිවාසය තුලට ගිය අතර මේ වන විට ඇය හාන්සි පුටුවක වාඩි වී සිටියාය.

"මම පුතාට කොච්චර දෙන්න ඕනෙද " තම පසුම්බිය විවෘත කරමින් ඇය මගෙන් විමසුවාය.

"කීයක්වත් නෑ මැඩම්" මම පැවසුවෙමි

"ඒත්... මේක පුතාගේ රස්සාවනේ?" මා දෙස විශ්මයෙන් බැළු ඇය මගෙන් විමසුවාය.

"මම අනිත් මගීන් ගෙන් සල්ලි ගන්නවනේ මැඩම්" යැයි මා පැවසූ විට අපහසුවෙන් ආසනයෙන් නැගී සිටි ඈ මා බදා ගත් අතර

"අද පුතා මහළු ගෑණියෙක්ට සතුටු වෙන්න පුංචි අවස්ථාවක් ලබා දුන්නා...මට මතක ඇති කාලෙකින් මම ගොඩක්ම සතුටු වුනේ අදයි...පුතාට ගොඩක් ස්තූතියි" යැයි පැවසුවාය. .මගේ දෑස් කදුලින් තෙත් වූ අතර මම ඇයට සමු දී යලි පිටත් වීමි.

එදින යලිත් කිසිදු මගියෙකු කැබ් රියට නංවා නොගත් අතර මම පැය ගණනාවක් අරමුණකින් තොරව රථය ධාවනය කලෙමි.

තම සේවා මුරය අවසන් කිරීමට බලා සිටින ක්‍ෂණිකව කෝපයට පත් වන රියැදුරෙක් ඇය වෙනුවෙන් පැමිනියා නම් කුමක් සිදු වන්නේද? මා වරක් නලාව නාද කර ඇය නොපැමිනි නිසා යලිත් පැමිනියා නම් කුමක් සිදු වන්නේද? ඇය ඉල්ලා සිටි පරිදි ඇයට අවශ්‍ය ස්ථාන වල රථය නොනවත්වා පැමිනියා නම් කුමක් සිදු වන්නේද?

 

පුද්ගලයන්ට ඔබ ඔවුන් වෙනුවෙන් කල දෑ අමතක වනු ඇත,ඔබ ඔවුන්ට පැවසූ දෑ අමතක වනු ඇත නමුත් ඔබ ඔවුන් ගේ සිතේ ඇති කල හැගීම ඔවුන්ට කිසි දිනක අමතක නොවනු ඇත..


No comments yet.

Sadamali Weerasooriya | Student @ University of Ruhuna | 1 year ago

ඔහු නමින් අයියා විය

Creative Writing Short Story


සමන්  යනු මගේ ලගම මිතුරෙකි. ඔහුගේ පසුගිය උපන් දිනයට ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ වැඩිමහල් සහෝදරයාගෙන් ඔහුට ලැබුනේ අපූරු ත්‍යාගයකි,ඒ අළුත්ම පන්නයේ මෝටර් රථයකි. පසුගිය සතියේ කාර්යාලයේ වැඩ අවසන් කර නිවසට යාමට මෝටර් රථය අසලට ගිය ඔහු දුටුවේ කුඩා පිරිමි දරුවෙකු මෝටර් රථය වටා කැරකෙමින් එය ආශාවෙන් නරඹන ආකාරයයි.

 සමන්  ඔහු අසලට ගියේය.

 

 "මේ කාර් එක මහත්තයාගෙද?" කුඩා පිරිමි දරුවා සමන් ගෙන් ඇසුවේය. හිස වැනූ සමන්  "ඔව් මගේ අයියා මගේ උපන් දිනේට අරන් දුන්නේ මේක " පිලිතුරු දුන්නේය.

 

 පිරිමි දරුවා විශ්මයට පත් විය. "ඒ කියන්නේ මේ කාර් එක මහත්තයගේ අයියාද මහත්තයාට දුන්නේ? මහත්තයට කීයක්වත් වියදම් වුනේ නැද්ද?" යැයි ඇසූ පිරිමි දරුවා අවසානයේ "අනේ මටත්..."යැයි යමක් පැවසීමට උත්සාහ ගත් නමුත් අවසානයේ එය නොපවසා නිහඩ විය.

 

 ඔහු පැවසීමට උත්සාහ ගත්තේ කුමක්ද යන්න සමන්  දැන සිටියේය. ඔහු පැවසීමට ගියේ "අනේ මටත් ඒ වගේ අයියා කෙනෙක් හිටියා නම්"යැයි බවට සැකයක් නොවීය.පිරිමි දරුවා ඊළග නිමේශයේදී යලිත් කථා කලේය.ඔහු පැවසූ දෙයින් සමන්  විශ්මයට පත් විය.. ඔහු පැවසුවේ

 

 "අනේ මටත් ඒ වගේ අයියා කෙනෙක් වෙන්න පුලුවනි නම්" යන්නයි. කුඩා දරුවා දෙස හොදින් බැලූ සමන්  ඔහුට ආරාධනාවක් කලේය.

 "පුතා කැමතිද කාර් එකේ නැගලා රවුමක් යන්න?"

 "ඔවු මහත්තයා මම ගොඩක් කැමතී" පිරිමි දරුවා පිලිතුරු දුන්නේය

 

 සමන්  කුඩා දරුවා සමග මද වේලාවක් මෝටර් රථය ධාවනය කලේය,ජීවිතයේ පලමු වරට මෝටර් රථයක් තුල ගමන් කල දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගොස් තිබුනි.අවසානයේ ඔහු කතා කලේය.

 

"අනේ මහත්තයා අපි අපේ ගෙදර ඉස්සරහින් යමුද?" සමන්  මදක් සිනා සුනි . පිරිමි දරුවාට අවශ්‍ය කුමක්දැයි ඔහුට වැටහුනි.ඔහුට අවශ්‍ය තම අසල්වාසීන්ට තමන් නවීන පන්නයේ මෝටර් රථයක නිවසට පැමිනි බව පෙන්වීම බව සමන්  සිතා ගත්තේය.

 

නමුත් සමන්  මෙවරත් සිතූ දේ නිවැරදි නොවීය. දිලිදු නිවසක් අසල මෝටර් රථය නවතන ලෙස ඉල්ලා සිටි පිරිමි දරුවා නිවස තුලට දුව ගියේය .මද වේලාවකින් ඔහු යලි පැමිනෙන හඩ ඇසුන නමුත් මෙවර ඔහු පැමිනියේ බොහෝ සෙමිනි.අවසානයේ ඔහු නිවසින් පිටතට පැමිනියේය. ඔහු පැමිනියේ තනිවම නොවේ තම ආබාධිත බාල සොහොයුරාද ඔසවාගෙනය. බාල සොයුරාව නිවස ඉදිරියේ වූ අසුනම වාඩි කර වූ හෙතෙම මෝටර් රථය අසලට පැමින සොයුරාව ඇමතුවේය

 

 "මේ තියෙන්නේ මල්ලී මම කිව්ව කාර් එක. මේ කාර් එක මේ මහත්තයට මේ මහත්තයාගේ අයියා තෑගි දීලා තියෙන්නේ. කවදාහරි ලොකු වෙලා මමත් මගේ මල්ලීට මේ වගේම කාර් එකක් තෑගි කරනවා.එතකොට අපි දෙන්නට පුලුවන් අම්මයි තාත්තයි එක්ක කාර් එකේ නෑගලා යන්න " පිරිමි දරුවාගේ කුඩා සොයුරා සතුටින් අත්පොලසන් දෙන්නට වූ අතර සමන්  තම දෙනෙතට නැගුනු කදුලු බිදු දරුවන්ගෙන් සැගවීමට වෙහෙස දැරුවේය


No comments yet.